දේශීය

ජනපති විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදු වූවා.

පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳවයි මෙහිදී එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දුන් අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද පැවසුවා.

එමෙන්ම මෙහිදී අවධාරණය යොමු කෙරුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්ව විද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.

Shares: