වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව පොලිස් කණ්ඩායම් හතරක් ඔස්සේ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේ.
ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙනයි වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණේ.
එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්වූයේ.
පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.
මේ අතර බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැකපල කරන්නේ.
එමෙන්ම තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව ද සඳහන්.
එසේම වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජ්‍යේෂ්ඨයින් රැසක් එක්ව සිට ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධය වෙත අදහස් දැක්වු සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙය දේශපාලන ඝාතනයක් බවයි.











