මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි එරට බලධාරීන් පැවසුවේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අධික වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වූ අතර පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බවයි.
කෙසේවෙතත් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ හානියට පත් ගොඩනැගිලි යළි ඉදිකිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 580ක සහන පැකේජයක් මෙක්සිකානු රජය විසින් අනුමත කර තිබෙනවා.
ඔක්තෝබර් 7-11 දිනවල ඇද හැලුණු වර්ෂාව මෙක්සිකෝ බොක්ක වෙරළ තීරයේ පිහිටි Veracruz, Hidalgo, Puebla, San Luis Potosi සහ Queretaro යන ප්රදේශවලටද බලපෑ අතර ඉන් කුණාටු සහ ගංවතුර තත්ත්වයන් ඇති වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔක්තෝබර් 11 වන දින වන විට ෆෙඩරල් රජය මරණ 36 ක් වාර්තා කර තිබුණද, මළ සිරුරු සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දිගටම කරගෙන යන බැවින් එම සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.
එමෙන්ම මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් අද නිවේදනය කළේ මීට පෙර අතුරුදහන් වූ බවට වාර්තා වූ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, 23 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවයි.











