වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ”සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස පේලි 150 ක් හා පවුල් 2200 ක් ප්රතිලාභ ලබනවා.
දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩ සටහනට සමගාමීව මෙරට මලයගම් ප්‍රජාව නඟා සිටුවීම සඳහායි එම අමාත්‍යංශය එහි පාර්ශ්වකරුවන් සමග එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ.
ආසන්න වශයෙන් මිලියනයක් පමණ වන මෙරට මලයගම් ජනතාව වැවිලි ක්ෂේත්රයට සහ ජාතික ආර්ථිකයට සුවිශාල මෙහෙවරක් සිදු කර ඇතත් එම ජනතාවට ලැබිය යුතු මූලික අයිතිවාසිකම්වත් ලබා දීමට රටක් වශයෙන් අසමත්ව තිබීම ශෝචනීය තත්ත්වයක්.
වැවිලි ක්ෂේත්රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන එම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.
එහිදී මෙම පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස පේලි පිරිසිදු කර තීන්ත ආලේප කර පිළිසකර කිරීම, බිත්ති හා ගෙබිම පිළිසකර කිරීම, දිරා ගිය සෙවිලි තහඩු ඉවත් කර අලුතින් සෙවිලි තහඩු යෙදීම හෝ සම්පූර්ණයෙන් වහලය සකස් කිරීම, ශ්‍රමදාන මගින් වට පිටාව පවිත්‍ර කර පිරිසිදු කිරීම, ජලාපවාහන පද්ධති ක්‍රමවත් කිරීම, තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් එක් එක් නිවෙස් සඳහා අනන්‍ය ලිපිනයන් ලබාදීම, තැපැල් බෙදන නිලධාරීන් මගින් එක් එක් නිවස වෙත ලිපි ලැබීම තහවුරු කිරීම, උප්පැන්න විවාහ සහතික නොමැති අය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රෙජිස්ට්‍රාර් නිලධාරීන්ගේ සහයෝගයෙන් එම උප්පැන්න සහ විවාහ සහතික ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයා දීම වැනි කාර්යයනුයි සිදු කළේ.
එමෙන්ම මලයගම් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය හා අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම තුළින් චර්යාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් විවිධ ආකෘති ඔස්සේ ක්‍රියාත්මක කරමින් පවතිනවා.
පළමු අදියර ලෙස ඕපාතවත්තේන් ආරම්භ වු මෙම ව්‍යාපෘතිය නුවර එළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර, කළුතර,ගාල්ල,කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල වැවිලි ක්ෂේත්රයට සම්බන්ධ නිවාස පේලි 150 ක් හා පවුල් 2200 ක් මෙම ව්‍යාපෘතිය මගින් ප්රතිලාභ ලබයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැවිලි ක්ෂේත්රයේ නියැළි සිටින අපනයනකරුවන් හා වෙළෙඳ සංගම් හා ආයතන විසින් රු.මිලියන 112ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කර තිබෙනවා.
මේ අතර මෙම ව්‍යාපෘතිය යටතේ පිළිසකර කරන ලද පෙළි නිවාස ජනතාව වෙත භාරදීමේ අවස්ථාව ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා දින ශ්‍රි ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කැලැබොක්ක වතු යායේ දියනිල්ල කොටසේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කිරිමට නියමිතයි.











