දේශීය

ලොකු පැටි සහ කපුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ”ලොකු පැටී” සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලයක කපු මහතා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අධිකරණය සඳහන් කළේ මෙම සැකකරුවන් ඇප මත මුදාහන ලෙස කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවයි.

මෙම නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගත සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේයි අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (අ) වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව පැවසුවා.

ඔවුන් කියා සිටියේ ලොකු පැටී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් ලැබෙන මුදල් සැකකාර දේවාල කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන තුසිතා නිරෝෂණී නැමැතිගේ ප්‍රකාශයට අනුව ඇය ලොකු පැටී නමැත්තාගෙන් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කර එම මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර තිබෙන බව ද ප්‍රකාශ කර ඇතැයි එම නිලධාරින් කියා සිටියා.

ඇය විසින් රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් මෙම ගිණුමට තැන්පත් කර ඇති අතර මේ ආකාරයෙන් වරින්වර අදාළ ගිණුමට මුදල් බැර වී තිබෙන ආකාරය විමර්ශනවලදී නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම ඔවුන් සඳහන් කළේ මෙම මුදල් බැර වන්නේ සැකකාර කපුවාගේ දැනුම මත බවත්, මේ ආකාරයෙන් තැන්පත් වූ රුපියල් කෝටි 33කට ආසන්න මුදලින් කෝටි තිස් දෙකක් චෙක්පත් මාර්ගයෙන් මෙම සැකකාර කපුවා විසින් ලබාගෙන තිබෙන බවයි.

මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් ලැබී ඇති බවට සැක කෙරෙන බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් අදාළ මුදල් යළි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදවා තිබේදැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කියා සිටියා.

මෙම විමර්ශනවලදී තවත් ගිණුම් තුනක් අනාවරණය වී ඇති බවත්, ඒ හරහා රුපියල් කෝටි 1,000ක් පමණ මුදල් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ප්‍රකාශ කළේ.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේ දී සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙහිදී සැකකාර ලොකු පැටී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් තම සේවාදායකයා මෙරටට රැගෙන ආවේ පසුගිය මැයි මස බව පෙන්වා දුන්නා.

එම නිසා මෙම මුදල් හුවමාරු වූ බව කියන කාලසීමාවේ ඔහු මෙරට නොසිටි බව සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඇපමත මුදා හැරීමට හැකියාව තිබෙන බවයි සඳහන් කළේ.

සැකකාර කපුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයාගේ ගිණුමට බැර කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් නොව බැතිමතුන් විසින් දේවාලයට පරිත්‍යාගය වශයෙන් ලබාදුන් මුදල් බවයි.

සිය සේවාදායකයාට සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමට හැකියාවක් නොමැති බැවින් ඔහු ඇපමත මුදාහන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන් පැහැදිලි කරමින් තමන් ලිඛිත නියෝගයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාළ නියෝගය ලබන 31 වනදා ලබාදෙන බවත් මහෙස්ත්‍රාත්වරයා නිවේදනය කළා.

Shares: