උණුසුම් පුවත්

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු පිරිස FCID වෙත

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ වෙත භාරදී ඇති තිබෙනවා.

එම ඝාතනයට සම්බන්ධ මූලික විමර්ශන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණ පළාත මගින් සිදු කළ අතර ඉදිරි විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකරනු ඇති.

මෙහිදී එම සභාපති ඝාතනය පිළිබඳ විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය කණ්ඩායම් 10 ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ, ඒ සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණ පළාත, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණ දෙණ නිලධාරි පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධව එම කටයුතු සිදුකරන බවයි.

අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඊයේ අළුයම සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් අතර එහිදී පලාගිය වෙඩික්කරු මහරගම නාවින්න ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගනු ලැබුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින්.

එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

සැකකරුවන් අපරාධය සදහා භාවිතා කරන ලද එක් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් , මෙන්ම හොරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණද සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය 22 වැනිදායි.

Shares: