රජරට විශ්ව විද්‍යාලයට ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජරට විශ්ව විද්‍යාල ආචාර්යයවරුන්ගේ සංගමය පවසනවා.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවයි එහි සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා කියා සිටියේ.
සංකේත වැඩවර්ජනයක් ලෙස ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා තීව්ර කර තිබෙනවා.
වැඩවර්ජනය ආරම්භ කර අදට දින 4ක්.
එහිදී නාලක ගීකියනගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසරකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලය තුළ උපකුලපතිවරයෙකු නොමැති වීම හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යවා ඇති නාමයෝජනාවලට කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම ආදි හේතු මත මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා,
“විශ්ව විද්‍යාලයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයට සහ මේ ක්‍රියාවලියේ පිටුපස තියෙන දේශපාලන මැදිහත්වීම්වලට විරුද්ධව තමා අපි වර්ජනයට අවතීර්ණය වුණේ. අපේ ප්‍රධානම ඉල්ලීම තමයි මේ වනවිට යවලා තියෙන නාමයෝජනා තුනෙන් එක් අයෙක් විශ්ව විද්‍යාලයට වහාම උපකුලපතිවරයෙකු ලෙස පත්කරන්න. ඒ එක්කම මෙම අකටයුතුකම් කරමින් තවදුරටත් විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිතුමිය තවදුරටත් ධුරයේ රැඳී සිටිනවා. ඒ එක්කම විශ්ව විද්‍යාල ලේඛකාධිකාරීතුමිය ලෙස විවිධ අකටයුතුකම් තනි තීරණ ගනිමින් රැඳී සිටින මේ දෙපොළ මෙම තනතුරුවලින් ඉවත් විය යුතුයි. අපි වැඩවර්ජනය තවදුරටත් කරගෙන යනවා. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ සිටින ජනතාව හා සියලුදෙනා එකතු කරලා පුළුල් පෙරමුණකට අරන් එන්න.”
යනුවෙනුයි කියා සිටියේ.











