දේශීය

මාලදිවයින් භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු කරයි

‍මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ ධීවර යාත්‍රාව පසුගිය නොවැම්බර් මස 7 වන දිනයි එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ.

එම යාත්‍රාව ‘අවිශ්ක පුතා’ නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත්, එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් පැවති බවත් මාලදිවයින් පොලීසිය තහවුරු කර තිබෙනවා.

මාලදිවයින් පොලිසිය පැවසුවේ එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් එම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එරට අධිකරණය විසින් ලබාගත් වරෙන්තුවකට අනුව ධීවර යාත්‍රාව ඊයේ (10) දිනයේ වි‍ශේෂ සෝදිසි කිරීමකට ලක්කර තිබුණා.

ඒ අනුව එම යාත්‍රාවේ මලු 24ක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 600ක්, මෙතම්ෆෙටමින් හෙවත් අයිස් කිලෝග්‍රෑම් 297යි ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාලදිවයින් පොලීසිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් 5දෙනා වයස අවුරුදු 39, 42, 28, 34 සහ 63 වයසේ පසුවන ශ්‍රී ලාංකිකයින්.

එරට ආරක්ෂක අංභ භාරයට ගත් මෙම මත්‍ද්‍රව්‍ය තොගය මාලදිවයින් මුහුදු සීමාවේ දී මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තාවෙයි.

මේ අතර මාලදිවයින් ආරක්ෂක අංශ භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එරට නීතීපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි පොලීසිය කියා සිටියේ.

ඒ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් මාලදිවයින වෙත ගොස් සිටින අතර එරට ආරක්ෂක අංශවල උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර ඇකි බව වාර්තා වනවා.

Shares: