කාළගුණය

ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අයහපත්

මෙරට ප්‍රදේශ කිහිපයක වායු ගුණ දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා නොඑසේ නම් තරමක් අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා කියාසිටියේ.

ඔහු පැවසුවේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවත්, මීට සති දෙකකට පෙර පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සමග උතුර දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී ඇති බවයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව මේ වනවිට ලංකාව සතුව තිබෙන බවත්, යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල දර්ශක අගය 150 – 200 දක්වා ඉහළ ගොස් තිබූ බව ද අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.

මෙම තත්ත්වය ඉදිරියේ දී පහව යනු ඇතැයි පුරෝකථනය කළ හැකි බව ද පැවසු පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂවරයා ශ්වසන ආබාධ ඇති අයට මෙම තත්ත්වය තුළ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවත්, ඔවුන් එවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු බවයි ප්‍රකාශ කළේ.

Shares: