උණුසුම් පුවත්

කෙහෙළියගේ පුතාට අධිචෝදනා භාරදෙයි – ඇපමත මුදාහැරීමටත් නියෝග

අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවූවා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි විනිසුරුවරයා නියම කළේ.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසයි.

2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබෙනවා.

Shares: