දේශීය

සමරිසි ප්‍රජාව ගැන ලිපියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කළේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශ්වය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි යනුවෙනුයි.

මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ.

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

Shares: