දේශීය

පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

“අපේ රටේ සියලුම දිස්ත්‍රික්කයන් ගත් විට, ප්‍රධාන නගරයේ දිස්ත්‍රික් මහ රෝහලක් නැති එක දිස්ත්‍රික්කය පුත්තලම. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ ජනගහන ව්‍යාප්තිය, වෙන දිස්ත්‍රික්කවල ජනතාව පැමිණීම ආදිය සියලු කාරණා සලකා බැලීමෙන් එය දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කිරීම සඳහා වන ධනාත්මක සාධක තියෙනවා.” යනුවෙනුයි එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ,

“අපේ රටේ රෝහල් උසස් කිරීමේදී විද්‍යානූකූල පදනමකින්ම නෙමෙයි වෙලා තියෙන්නේ. අපි මූලික රෝහලක් B, A, හෝ දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කරනවානම් අනිවාර්ය අවශ්‍යතාවය ඒකට අදාළ කරන විෂේඥ වෛද්‍ය සේවාවන් අපිට සැපයිය හැකිද? නොහැකිද ? ඒකට අපිට පහසුකම් පවතිනවාද ? අවශ්‍යතාවය කුමක්ද ? බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට තමන්ගේ ආසනයේ මූලික රෝහලක් හදාගැනීමේ අවශ්‍යතාවය දේශපාලන අධිකාරියට පවතින්න පුළුවන්. නමුත් රටේ ජාතික සැලැස්මට අනුව තමයි කටයුතු සිදුවන්නේ. කොහෙම වුණත් මේ මූලික රෝහල් 82කට අවශ්‍ය පහසුකම් පියවරෙන් පියවර ලබාදෙනවා. හැබැයි මෙතනින් එහාට රෝහල් උසස් කිරීමේදී දැඩිව සැලකිලිමත් වෙනවා. එකක් ජනගහන ව්‍යාප්තිය, දෙක භූගෝලිය අවශ්‍යතාවය, තුන අපේ ජාතික සැලැස්මට කොතරම් අනුකූලයිද කියන එක.”

යනුවෙනුයි.

Shares: