ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු (71) වැනි වියේයි පසු වුණේ.
ඔහු වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වශයෙන් ක්ෂේත්‍රයට මතක රැසක් තිළිණ කළ රංගන ශිල්පියෙක්.
සයිමන් නවගත්තේගමගේ “ස්ත්‍රී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ප්‍රනාන්දු මහතා “සුබ සහ යස”, “සුදු සහ කළු”, “ඒකාධිපති”, “පණ්ඩුකාභය”, “අංගාරා ගඟ ගළා බසී” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවා.
එමෙන්ම “අඹරාවක්”, “උඩුගංබලා”, “නේරංජනා”, “අන්තඃස්වරය”, “වංශක්කාරයෝ”, “කුලැත්තියෝ” සහ “අක්වැස්ස” ඔහු තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයයි.
එසේම “කඩවර”, “රන්තාලිය වලව්ව”, “තෙත් සහ වියලි”, “ගෞතමී”, “පින්න හරි සැරයි”, “හැන්ඳෑවක්”, “බොරදිය කඳුර”, “තරු කැට අහුරක්” වැනි ටෙලිනාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
“විරාගය” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු “උමයංගණා”, “සුදු සෙවනැළි” ද රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරට අයත්.
“ආමන්තය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නට ඔහු සමත් වුණා.
තවද එහි පසුබිම් ගීතය වූ අජන්තා රණසිංහයන් ලියා සුනේත්‍රා සරච්චන්ද්‍ර සංගීතවත් කොට නිහාල් ප්‍රනාන්දු හා එක්ව ගැයූ “තාරුකා නිවා” නම් ගීතය ද ඔහුගේ සිය හැකියාව නිරූපණය කළ තවත් අවස්ථාවන් අතරට අයත්.
වසර 40කට අධික කාලයක් ‘සුබ සහ යස’ නාට්‍යයට රංගනයෙන් දායක වූ ඔහු කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
ඔහුගේ කලා දිවියට 45 වසරක් සපිරෙන අතර ඔහු නව පරපුරට ශිල්ප ලබාදෙන තක්සලාවක් ද පවත්වාගෙන ගියා.











