උණුසුම් පුවත්

පාසල් ආරම්භය දෙසැම්බර් 16 – උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12

නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථා තත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටසේ ආරම්භය, අ.පො.ස උසස්‍ පෙළ විභාගය පැවැත්වීම පැවැත්වීම වැනි මූලික කරුණු රාශියක් පිළිබඳ අද දින (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.

මෙහිදී ඒ මහතා සඳහන් කළේ මේ වන විට දිවයිනේ සියලු පළාත් සම්බන්ධීකරණය කරමින් තත්ත්වය සමාලෝචනය කිරීමේ දී, 10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,929 ක් 2025.12.16 වැනි දින විවෘත කරන බවයි.

ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බවත්, පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම්වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කර සිටියා.

එමෙන් ම දෙසැම්බර් 16 වැනි දින ආරම්භ වන සියලු පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වැනි දින සේවයට වාර්තා කළ යුතු බවත්, පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි කියා සිටියේ.

එසේම ලේකම්වරයා පැවසුවේ 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2025.12.16 දින සිට 2025.12.22 දින දක්වා පවත්වන අතර නත්තල් නිවාඩුවෙන් පසු නැවත 2025.12.29 දින සිට 2025.12.31 දින දක්වාත්, මුස්ලිම් පාසල් 2026.01.02 දින දක්වාත් පැවැත්වෙන බවයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් ආරම්භ වන්නේ 2026 ජනවාරි මස 12 වැනි දින වන අතර ඒ පිළිබඳ ඉදිරි දැනුවත් කිරීම් විභාග කොමසාරිස් ජනරාල් විසින් සිදු කරන බව ප්‍රකාශ කළා.

තවද 2026 වර්ෂය සඳහා නව පාසල් වාරය ජනවාරි පස් වන දින (5) ආරම්භ කරන අතර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පෙබරවාරි මස පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Shares: