05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත, පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණද පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 වනදා දක්වා සංශෝධනය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ අතර 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව ද එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ 2026 වසරේ 06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදුකරන බවයි.











