කාළගුණය

උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.

එමෙන්ම මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවයි එම සංවිධානයේ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩදුම්බර, ⁠මැදදුම්බර හා මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම රතු නිවේදනය අදාළ වනවා.

එසේම සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව සමඟ නායයෑමේ පූර්ව ලක්ෂණ බොහෝමයක් ප්‍රදේශවල දක්නට ලැබෙන බැවින් නිවාස සහ ගොඩනැඟිලිවල ඉරිතැලීම් ඇත්තම් එම ස්ථානවලට නොයන ලෙසයි.

එම ස්ථාන නැවත නායයෑමක් හෝ කණ්ඩි කඩා වැටීමකට ලක්විය හැකි බැවින් එම ස්ථානයන් මඟහැර තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ජීවිත රැකගන්නා ලෙස ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙනවා.

Shares: