Global Platform For All Sri Lankans

බ්‍රිතාන්‍ය නව අගමැති කවුද මේ ස්ටාර්මර් ?

Who-is-Starmer-the-new-British-Prime-Minister

අනාවැකි පළ වූ පරිදිම බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්, විපක්ෂය වූ කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. බහුතරය සදහා ආසන 326 ක් දිනා ගත යුතුව තිබුණි. විපක්ෂය වූ කම්කරු පක්ෂය ආසන 400 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගත්තේ වසර 14 ක් තිස්සේ බලයේ සිටි කොන්සවරිටිව් පක්ෂයට බලය අහිමි කරමිණි. කොන්සවටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද ලෙස කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් පරාජයට පත් විය. පරාජයේ වගකීම බාර ගනිමින්, පක්ෂ ආධාරකරුවන්ගෙන් සහ ජනතාවගෙන් සමාව ඉල්ලා ඔහු ගෙදර ගියේය. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ බලයට පත් වන පක්ෂයේ නායකයාය. ඒ අනුව, ජයග්‍රහණය කළ කම්කරු පක්ෂයේ නායක 61 හැවිරිදි ශ්‍රීමත් කියේජි ස්ටාර්මරි, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා බවට පත් විය.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමතුවේය. ඒ පසුගිය සිකුරාදා (5) පස්වරුවේය. එම අවස්ථාවට කම්කරු පක්ෂ ආධාරකරුවන් බොහෝ දෙනකු පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් නව අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. බ්‍රිතාන්‍යය නව මඟකට යොමු කරන බවත්, බ්‍රිතාන්‍යය යළි නගා සිටුවීමට කටයුතු කරන බවත් පවසමින්, නව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් අවධාරණය කළේ තමන් පක්ෂයට පෙර රට යන සංකල්පයට අනුව කටයුතු කරන බවය. සම්ප්‍රදායට අනුව, ස්ටාර්මර්, බකිංහැම් මාලිගයට ගොස් තෙවැනි චාල්ස් රජු හමුවී, රජයක් පිහිටුවීමට හැකි බව දැනුම් දී රජුගේ අනුමැතිය ලබාගෙන, නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරා, අගමැතිවරුන් ආවා ගියත්, ඩවුනිං වීදියේ අගමැති නිල නිවසේ හිමිකරුවෙක් සිටී. ඒ, ලැර් නමැති බළල් සුරතලා ය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු පස් දෙනකු සමඟ වාසය කිර්මට ලැර් වාසනාවන්ත විය. ස්ටාර්මර්, ලැර්ට හමුවන හය වැනි අග්‍රාමාත්‍යවරයාය. කුමන ආකාරයේ දේශපාලන කැලඹීම් සිදුවුවත්, අංක 10 ඩවුනිං වීදියේ නිල නිවසේ,

පසුගිය වසර ගණනාව පුරාම නොසැලී සිටි එකම තැනැත්තා ලෙස ලැර් බව අමුතුවෙන් කිව යුතු නැත. ලැර් උපත ලබා ඇත්තේ 2007 වසරේ ජනවාරි 13 වැනිදාය. ලැර්, කම්කරු පක්ෂ අග්‍රාමාත්‍යවරයකු ඇසුරු කරන පළමු අවස්ථාව මෙයයි. අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගෙන ඊෂී සුනාක් නිල නිවසින් යද්දී ඔහුගේ බලු සුරතලා ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවා ද නිල නිවසට සමුදුන්නේය. එය ලැර්ගේ සතුටට හේතුවක් වන්නට ඇත. ඒ බළලුන් සහ බල්ලන් අතරේ නොහොඳ නෝක්කඩු පවතින නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් ගැටලුවක් ඇත. ස්ටාර්මර්ගේ ආගමනයත් සමඟ ලැටර්ට ප්‍රතිවාදියකු හමුවෙයි. ප්‍රතිවාදියා මිතුරකු ලෙස තබා ගැනීම ලැර්ගේ පැවැත්මට හොඳය. නව අග්‍රාමාත්‍යවරයා සමඟ නව සුරතලෙක් ද අංක 10 නිල නිවසට පැමිණෙයි. එම සුරතලා ජෝ ජෝය.

ජෝජෝද ලැර් මෙන්ම බළල් තඩියෙකි. ලැර් සහ ජෝ ජෝ අතරේ ගැටුම් හට ගනීව්ද? බ්‍රිතාන්‍ය වැසියන්ට මෙය ද දැවෙන ප්‍රශ්නයකි. ලැර් සහ ජෝ ජෝ අතරේ බොහෝ දුරට රණ්ඩුසරුවල් ඇතිවීමට ඉඩ ඇත. හේතුව, අංක 10 නිල නිවස අසලින්වත් වෙනත් බළලකු යනවාට ලැරි කැමති නැත. මීයන් ඇල්ලීම පැත්තකට දමා ලැර් ජෝ ජෝ සමඟ රණ්ඩු කර ගත්තොත්, ඊෂී සුනාක්ට මෙන් ලැර්ට ද නිල නිවස අහිමි වීමට ඉඩ ඇත.

නව අග්‍රාමාත්‍යවරයා වූ කියේර් ස්ටාර්මර් උපන්නේ, 1962 සැප්තැම්බර් 2 වැනිදා සරේ ප්‍රාන්තයේ ඔක්ස්ෆඩ්හිදීය. ස්ටාර්මර්ගේ මව හෙදියකි. පියා යන්ත්‍රෝපකරණ නිර්මාණකරුවෙකි. ස්ටාර්මර්, ‘රෙයිග්‍රෙට් ග්‍රැමර්’ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව, ‘ලීඩ්ස්’ විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදැරුවේය. දේශපාලනයට පිවිසීමට පෙර, ස්ටාර්මර් සමාජ අසාධාරණය වෙනුවෙන් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකි. නීතිඥවරයකු ලෙස ස්ටාර්මර් රාජකාරි ආරම්භ කළේ 1987 දීය. අග්‍රමාත්‍ය ටෝනි බ්ලෙයාර්, ඇමෙරිකාවට සහාය පළ කරමින්, ඉරාකය ආක්‍රමණයට සහාය දක්වද්දී, එය නීති විරෝධී බව පෙන්වා දෙමින්, එය වැළැක්වීමට උත්සාහ ගත් නීතීඥවරයන්ගෙන් කෙනකු වන්නේ ද ස්ටාර්මර්ය.

ස්ටාර්මර්ට වික්ටෝරියා හමුවූයේ 1998 දීය.

ඇය හෙදියකි. දෙදෙනා විවාහ වූයේ 2007 වසරේදීය. යුවළට දරුවෝ දෙදෙනෙක් වෙති. වික්ටෝරියා නිහඬ චර්තයකි. මැතිවරණ කටයුතුවලදී ඇය සැමවිටම සැමියාට සහාය දැක්වූයේ තිරයෙන් පසුපස සිටය. ඇය පොළොවේ පය ගසා සිටින නිහතමානී තැතැත්තියක යැයි කාගේත් අදහසය. 2008 වසරේ දී ස්ටාර්මර්, මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නඩු පැවැරීමේ අධ්‍යක්ෂවරයා ලෙස එම ධුරයට පත් විය. ඉහළ පෙළේ නඩු විභාග කීපයක් මෙහෙයවීය. 2014 දී බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබත් රැජින, ස්ටාර්මර්ට නයිට් පදවියක් ද පිරිනැමුවාය. ඒ, ඔහුගේ කාර්යභාරය ඇගයීමට ලක් කරමිණි.

ස්ටාර්මර් දේශපාලනයට පිවිසියේ 2015 දීය. ඒ, හොල්බෝර්න් සහ ශාන්ත පැන්ක්‍රාස් සඳහා මන්ත්‍රීවරයකු ලෙසිනි. කම්කරු පක්ෂයේ ප්‍රධාන තනතුරු කීපයක් හෙබවීමට ස්ටාර්මර් සමත් විය. කම්කරු පක්ෂයේ නායකත්වය දැරූ ජෙරමි කෝර්බින් ඉවත් වීමත් සමඟ, පක්ෂ අභ්‍යන්තර ඡන්දයෙන් ස්ටාර්මර් පක්ෂ නායකත්වයට පත් විය. යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍යය ඉවත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතත්, බ්‍රිතාන්‍යය යළි යුරෝපා සංගමයට එක් නොකරන බව ස්ටාර්මර් පැහැදිලි කර තිබේ. තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් මහා බ්‍රිතාන්‍ය දේශපාලනයේ ස්ථාවර වෙනස්කම් සිදු කරන බව ස්ටාර්මර් මීට පෙර අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට පත්වුණු ස්ටාර්මර් සහ ඔහුගේ කම්කරු පක්ෂ රජයේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බොහෝ දෙනා උනන්දුවෙන් පසුවෙයි. නව අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධ්පති ජෝ බයිඩන් සහ අසල්වැසි යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවීමට සූදානමින් සිටී. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංව්ධානයේ 75 වැනි සැසිය ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වීමට නියමිතය. බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්ටාර්මර් ඊට සහභාගී වෙයි. මෙය ස්ටාර්මර්ගේ පළමු විදෙස් සංචාරය වනු ඇත. වොෂින්ටන් අගනුවර ‘නේටෝ’ සමුළුවේදී අග්‍රාමාත්‍ය ස්ටාර්මර්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ‘නේටෝ සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු සෙසු යුරෝපා රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවා ගත් යුද සන්ධානයයි.

‘නේටෝ’ සමුළුවේදී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඊට මැදිහත් වීමට ස්ටාර්මර්ට සිදුවනු ඇත. රුසියන් යුක්රේන අර්බුදයේ දී, රුසියාවේ ‘මැරකම්’වලට විරෝධය පළ කරමින්, මහා බ්‍රිතාන්‍ය නව කම්කරු පක්ෂ රජයේ සහාය යුක්රේන රජයට ලබා දෙන බවට ස්ටාර්මර් ද ප්‍රතිඥා දී අවසන්ය. ස්ටාර්මර් මෙසේ ප්‍රතිඥා දුන්නේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඔහුට සුබ පතමින් දුරකතන ඇමතුමක් දුන් විටය.

නොබෝ දිනකින් ස්ටාර්මර් යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීමට ද නියමිතය.

මධ්‍යම එංගලන්තයේ, ඔක්ස්ෆර්ඩ් හි බ්ලෙන්හයිම් මාලිගයේ යුරෝපා සංගමයට අයත් දේශපාලන කණ්ඩායම්වල හමුවක් ලබන ජූලි 18 වැනිදා පැවැත්වෙයි. එම හමුව පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍ය ස්ටාර්මර්ගේ මැදිහත් වීමෙනි. එම හමුවේ දී ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරයා ඕලාෆ් ෂොල්ස් හමුවී සාකච්ඡා කරනු ඇත. කම්කරු පක්ෂ රජයක් බ්‍රිතාන්‍යයේ පිහිටවූයේ 2010 වසරෙන් පසුවය. පැහැදිලි මෙන්ම ශක්තිමත් විදෙස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට අග්‍රාමත්‍ය ස්ටාර්මර් අවධාරණය කර තිබේ. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ටාර්මර් මැදිහත් වනු ඇතැයි පැවැසෙයි. ඒ, පලස්තිනය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව අවධාරණය කරමිනි. තම නව කම්කරු පක්ෂ රජය, චීනය සමඟ ද යහපත් සබඳතා පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ස්ටාර්මර් පැහැදිලි කර ඇත.

බීබීසී ඇසුරිනි -ලුසිත ජයමාන්න



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads