අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගනු ලැබූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
ඉන්පසුව මෙම නඩුව ලබන මැයි මස 08 වනදා කැඳවීමටයි නියම කෙරුණේ.
2012 වසරේ ජනවාරි මස 01 වෙනිදා සහ එම වසරේ දෙසැම්බර් මස 31වෙනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36 කට අධික වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යයි සැකපිට අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.











