නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.
නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිසක් ඉලක්ක කර ගෙනයි මෙම වෙඩිතැබීමක් සිදුව තිබුණේ.
ඒ ඊයේ රාත්‍රී 9.30ත් 10ත් අතරදීයි.
එම වෙඩිතැබීමෙන් 20 හැවිරිදි තරුණයෙකුයි ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
පොලීසිය පැවසුවේ බොරැල්ලේ ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, බොරැල්ලේ ‘කුඩු චතූගේ’ පාර්ශ්වය ලෙස සැක කරන බවයි.
එම සිදුවීම වන අවස්ථාවේදී නිවසේ තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව අනෙක් දෙදෙනා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
වත්තෙහි වූ වැටක් කපාගෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු නිවසට පැමිණ ඇති බවත් වෙඩි තැබීමට පිස්තෝලයක් භාවිත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත් වූ තරුණයා සංකල්ප නමැති 20 හැවිරිදි අයෙක් වන අතර ඔහු බොරැල්ලේ පදංචිකරුවෙක්.
තුවාල ලැබූ දෙදෙනා අම්බලන්තොට හා දෙමටගොඩ පදිංචිකරුවන්.
පොලීසිය ප්‍රකාශ කළේ ඝාතනය වූ තරුණයා ඉකුත් නොවැම්බර් 14 වනදා බොරැල්ල, සරණ පාර ප්‍රදේශයේදී තවත් අයෙක් සමග එක්ව කාන්තාවකගේ අතක් වෙන්වන්ටම කපා දමා ඇති බවයි.
ඇය බොරැල්ලේ කුඩු චතූ නැමැත්තාගේ සමීපතමයෙක් වන අතර ඔහුගේ උපදෙස් මත බොරැල්ලේ ඩම්ප් එක වත්ත පාර ප්‍රදේශයේදී පසුගිය ජුනි 24 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හා යතුරුපැදිකරු ඇයගේ නිවසේ සිට පැමිණ තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා දිවගොස් දිවි බේරාගත් අතර පසුව ඔහු හා ඊයේ රාත්‍රියේ ඝාතනය වූ තරුණයා එක්ව අදාළ කාන්තාවගේ අත කපාදාමා තිබුණා.
ඔවුන් දෙදෙනා කුඩු චතූ නැමැත්තාගේ ප්‍රතිවාදි කල්ලිය වන ‘කුඩු දුමින්ද’ නම් අපරාධකරුගේ සමීපතමයන්.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලීසිය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කළ ද ඔවුන්ව සොයාගැනීමට හැකි වුණේ නැහැ.
කෙසේවෙතත් කුඩු චතූගේ පාර්ශ්වයට අදාළ තරුණයා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ එක් අයෙක් ඉකුත් ජූනි මාසයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් පුද්ගලයාගේ මස්සිනා බව පොලීසිය කියා සිටියේ.
මේ අතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ අදාළ ඝාතනයට ‘කුඩු දුමින්ද’ සූදානම් වන බවට ලද තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි.











