උණුසුම් පුවත්

කෝටි 50ක් වටිනා කුෂ් තොගයක් කටුනායකින් අල්ලයි

රුපියල් කෝටි 50ක වටිනා කමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් අද (06) කටුනායක ගුවන් තොටුපොළේදී භාරයට ගෙන තිබෙනවා.

අද උදෑසන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අදාළ මත්ද්‍රව්‍ය තොගය ‘හරිත මාවත’ ඔස්සේ පළා යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු සමඟයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක්.

27 හැවිරිදි පිරිමි පුද්ගලයා මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙක් වන අතර කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන පාසැල් ගුරුවරියන් දෙදෙනෙකු බව සඳහන්.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා හා විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණිය බව සඳහන්.

මොවුන් තිදෙනාට බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී, මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බවයි රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඔවුන් අද උදෑසන 11.07ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එම පුද්ගලයන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සගවා තිබී ඇති බවයි.

භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර කටුනායක ගුවන්තොටුපොළ තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස වාර්තා ගත වී තිබුණේ ඉකුත් වසරේ වෙසක් පෝය දින බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 46ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයයි.

Shares: