එකිනෙකාට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තෛපොංගල් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින්.
විපක්ෂ නායකවරයාගේ තෛපොංගල් දින සුබ පණිවිඩය පහතින්,
”බහු ජාතික, බහු ආගමික සහ බහු භාෂාමය සමාජයක පැවැත්ම තහවුරු වන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට සියලු දෙනා ම දක්වන කැපවීම මත ය. එමෙන් ම ඒ ඒ සංස්කෘතීන්ගේ හර පද්ධතින් නිවැරදි ව කියවා ගනිමින් කටයුතු කිරීම තුළ ය. හින්දු බැතිමතුන් ඉමහත් සතුටින් සමරන තෛපොංගල් උත්සවය අපට කියා දෙන පාඩම මැනවින් හඳුනා ගතහොත් එය අපගේ ජීවිතවලට ඉමහත් රුකුලක් වනු ඇත.
කෘතවේදීත්වය පිළිබඳ ව තෛපොංගල් උත්සවය අපට පසක් කරනුයේ සොබා දහමට, සතා සීපාවට පවා අපගේ ආදරය කරුණාව ගෞරවය හිමි විය යුතු බව යි. වර්තමාන ලෝකයේ අප මුහුණ දී ඇති ස්වාභාවික ව්‍යසන ගැටුම් සියල්ලට හේතුව සොබා දහම සහ මිනිස් සිත බරපතළ ලෙස විකෘති වීම යි. තෛපොංගල් සැමරුමේ දී අප සිහිපත් කළ යුත්තේත් අවබෝධ කරගතයුත්තේත් එම උත්සවයේ විවිධ අවස්ථාවන්හි දී සමරනු ලබන සංස්කෘතික අංගයන්ගේ යටි පෙළ අරුත යි.
මේ මොහොතේ අපගේ වගකීම වන්නේ එම දැක්ම හා දර්ශනය සමාජයට ලබා දීමේ මාර්ග හැකිතාක් දුරට පුළුල් කිරීම යි. පාසල, දහම් පාසල, පන්සල, කෝවිල, පල්ලිය, දේවස්ථානය මූලික ච ඒ ඒ ආගමිකයන්ට ආවේණික සංස්කෘතික හා ආගමික අවස්ථාවන් පිළිබඳ ව විධිමත් දැනුමක් ලබා දීමට නොපමාව පියවර ගත යුතු ය. එවැනි වැඩපිළිවෙලක් තුළ එකිනෙකාට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබේ.
තෛපොංගල් සැමරුමේ සැබෑ අරුත වටහා ගනිමින් මේ සංස්කෘතික මංගල්‍යය සැමරීමට සියලු දෙනාට හැකි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.”











