මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට 61කට තුවාල
චීනයේ Hunan පළාතේ ගිනිකෙළි කම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ ගිනිකෙළි නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ Changsha නගරයේ පිහිටි “හුවාෂෙං” ගිනිකෙළි නිෂ්පාදන හා ප්‍රදර්ශන සමාගම තුලයි.
සඳුදා සවස 4.40ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පසු, විශාල දුමාර, කඩා වැටුණු ගොඩනැගිලි, සහ සුන්බුන් විසිරී ගිය දර්ශන චීන සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
ගිනි නිවන භටයින්, වෛද්‍ය කණ්ඩායම්, සහ ගලවා ගැනීමේ නිලධාරීන් 500කට ආසන්න පිරිසක් හදිසි මෙහෙයුම් සඳහා යොදවා තිබුණා.
චීන ජනාධිපති Xi Jinping මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ප්‍රධාන කර්මාන්තවල ආරක්ෂක පරීක්ෂණ, අවදානම් පාලනය, සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවයි.
වාර්තා අනුව, පසුගිය වසරේ පමණක් චීනය ඩොලර් බිලියන 1.14ක ගිනිකෙළි අපනයනය කර ඇති අතර, එය ලෝක ගිනිකෙළි වෙළඳපොළෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් බව සඳහන් වනවා.
මෙම සිදුවීම, කාර්මික ආරක්ෂාව සහ හදිසි ආපදා ප්‍රතිචාර පද්ධති පිළිබඳ ගැඹුරු ප්‍රශ්න නැවතත් මතුකර තිබෙනවා.









