අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය කිරීමට දිගුකාලීන කාර්යයභාරයකට එක්වෙමින්, ජපාන ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටියි. එහි සහායවීමේ නවතම පියවරක් ලෙසින් නැගෙනහිර ආසියානු ෆේස්ෆික් සහ ආසියානු කලාපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සදහා සූදානම් වන ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට පෙර සූදානම් වීම වෙනුවෙන් පුහුණු තරගාවලියක් ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ජූලි මස 31 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය ඇතුළත පුහුණු තරග 7 කට සහභාගි වනු ඇත. ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවුරුදු 19 න් පහළ පළාත් පුහුණු සංචිත 4 ක් ද සූදානම් කිරීමට අමතරව, එම තරගාවලිය සඳහා අවශ්‍ය ක්‍රීඩාංගණ පහසුකම්, ක්‍රිකට් පන්දු, විනිසුරුවරුන් සහ ලකණු සටහන්කරුවන් ඇතුළු සියලුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ඇත.
එම තරග හතෙන් තරග 5 ක් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඉතිරි තරග දෙක කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
මෙම අවස්ථාවට පෙර ජපාන ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථා ගණනාවකදීම ජපානයට සහාය ලබා දුන්නේය. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු කාර්යය මණ්ඩලය සහ තණතීරු සකසන්නන් ජපානයට යැවීම, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ජපානයට යැවීම මෙන්ම තාක්ෂණික හා යටිතල පහසුකම් පිළිබඳ විශේෂඥ සහයෝගීතාව ලබා දීම මෙම සහාය වැඩසටහන් වලට ඇතුළත් වේ.
දෙපාර්ශ්වය අතර වුණු මෙම අවබෝධතා ගිවිසුම ඉකුත් වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර අත්සන් තබන ලදී. එම ගිවිසුමේ කොටසක් ලෙසින් සහයෝගීතාවය, හුවමාරු කිරීම් සහ ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය විශේෂඥතාව ලබාදීම තුළින් ජපානයට සිය ක්‍රිකට් ක්‍රීඩාව දියුණ කරගැනීම සඳහා වන උපකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහතික වී සිටියි.
ජාත්‍යන්තර සීමා ඉක්මවා ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැක්වෙන මෙම කැපවීම, ලෝක ක්‍රිකට් පරිසරය තුළ නව ආදර්ශයකි.










