සිම්බාබ්වේ තරග සංචාරයට ඉලක්ක ගත කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් 2025 තරගාවලිය අගෝස්තු මස 07 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලිය අගෝස්තු 16 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
නිල්, කොළ සහ අළු වශයෙන් නම් කොට ඇති කණ්ඩායම් තුනේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලියේ සියලුම තරග පස්වරුවේදී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ප.ව. 1.30 ට ආරම්භ වන මෙම තරගාවලියේ සමාරම්භක තරගයේදී නිල් සහ කොළ කණ්ඩායම් තරග වදිනු ඇත.
ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 4 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර එහිදී වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගනු ලබන කණ්ඩායම් අගෝස්තු මස 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී මුණ ගැසෙනු ඇත.
මෙම තරගාවලිය සදහා ජාතික තලයේ පසුවන සියලුම ක්‍රීඩකයින් සහභාගිවන අතර ඊට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘, නැගීඑන කණ්ඩායම මෙන්ම පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.
සිම්බාබ්වේහි පැවැත්වෙන සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙන බැවින් ඊට පෙරහුරුවක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.










