දේශීය

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 8ක් ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තඹුත්තේගම, මාදම්පේ, කයිට්ස්, හබරාදුව, මැදවච්චිය, ගම්පහ සහ කඩවත යන ප්‍රදේශවලදී සිදු වූ අනතුරුවලින් මෙම මරණ සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ දී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක සහ දුරකතක රැහැන් කණුවක ගැටී සිදුවු අනතුරකින් එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි සහ 85 හැවිරිදි චුන්නාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක්.

එමෙන්ම මාදම්පේ, බුලත් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුකින් 52 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

එසේම පොලිසිය ප්‍රකාශ කළේ යාපනය කයිට්ස් මාර්ගයේදී ද බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් 59 හැවිරිදි යතුරුපැදිකරුවෙක් මියගොස් ඇති බවයි.

මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේදී බවුසර් රථයක ගැටී යතුරු පැදිකරුවෙකු මියගොස් ඇති අතර ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේදී ද ටිපර් රථයක ගැටී තවත් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

තවද කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේදී වෑන් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් ද යතුරුපැදකරුවෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව හබරාදුව, පාලුවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී 50 හැවිරිදි පදික කාන්තාවක් මියගොස් තිබෙනවා.

Shares: