දේශීය

උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

 

ඉදිරියේ උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ මේ සඳහා අමතර පොලිස් නිලධාරීන් රාශියක්ද රාජකාරි සඳහා යොදවන බවයි.

ඒ අනුව, ඉදිරි උත්සව සමයේදී ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය කටයුතු කරන බවත් මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද යෙදවීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කර ගන්නා බවත් ඒ අනුව උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා,

“සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සහ ස්ථානාධිපතිවරු ඒ ඒ පොලිස් බලප්‍රදේශයන් හී පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන නායකයින් හමුවී ඉදිරි කාලයේදී පවත්වන්නා වූ සියලුම ආගමික වැඩසටහන් ආරක්ෂාව සැලසීම සඳහා ක්‍රියාකරනු ඇති.

මේ උත්සව සමයේදී ආගමික ස්ථානවලට යන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් මේ සඳහා අවධානයෙන් සිට යම් සැකකටයුතු පුද්ගලයෙකු සහ සැකකටයුතු කණ්ඩායමක් හෝ සැකකටයුතු යම් දේපළක් පිළබඳව යම් චකිතයක්, සැකයක් ඇති වේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්න පුළුවන්.

මේ සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගනිමින් මේ උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබ ආසන්නයේ රැඳී සිටිනවා සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියන් රාශියක්, ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මේ උත්සව සමයේ ඔබේ ආරක්ෂාව සඳහා යොදවා සිටින අතර ශ්‍රී ලංකා පොලීසිය අමතර නිලධාරීන් බස්නාහිර පළාතේ 2,500කට වඩා අමතර පිරිසක් මේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙනවා.”

Shares: