මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මහවැලි ද්‍රෝණියේ ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය ජලාශයේ ජල මට්ටම කිසියම් ඉහළ මට්ටමක පැවතියත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශවල වාන් දැමීම තත්ත්වයත්, සුළු වර්ෂාපතන තත්ත්වයක් පැවතියත් එම ජලාශයේ ජල මට්ටම් විශාල ලෙස වැඩිවීමක් පෙන්නුම් නොකරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුළදී ජලාශ ආශ්‍රිතව ලැබුණු වර්ෂාපතනය අනුව වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවද එය මිලිමීටර් 25ක් ලෙස වාර්තා වී ඇතැයිද වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළා.
එමෙන්ම ඔහු පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වෙත ලැබී ඇතැයිද අනෙකුත් බොහෝ ස්ථානවල කුඩා ප්‍රමාණයෙන් වර්ෂාවන් ඇද හැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථාන වෙත වාර්තා වී ඇති බවයි.
තවද මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 36ක වාන් දැමීමේ කටයුතු තවදුරටත් සිදුවන නමුත් එම ජලාශ අනතුරුදායක මට්ටමක වාන් දැමීමක් සිදුනොවන බවයි වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ.
එමෙන්ම මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 52ක ප්‍රමාණයක් වාන් දමමින් පවතින බවත්, එම කිසිදු ජලාශයක අනතුරුදායක ලෙස වාන් දැමීමක් සිදු නොවන බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.











