විදෙස්

චීනයේ උපත් අනුපාතය වාර්තාගත ලෙස යළිත් පහත වැටෙයි

චීනයේ උපත් අනුපාතය වාර්තාගත අගයක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව, 2025 වසරේදී එරටින් වාර්තාවී ඇත්තේ පුද්ගලයින් දහසකට උපත් 5.63ක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

2025 වසරේදී මිලියන 11.31 ඉක්මවූ චීන ජාතිකයින් පිරිසක් එරටදී මියගොස් ඇති අතර උපත ලබා ඇත්තේ බිළිඳුන් මිලියන 7.92ක් පමණයි.

ඒ අනුව එරට ජනගහනය මිලියන 3.39කින් පහත වැටී ඇති බව සඳහන්.

2016 දී, දිගුකාලීනව පැවති එක්-දරු ප්‍රතිපත්තිය ඉවත් කර එය දරුවන් දෙදෙනෙකු දක්වා සීමාවක් පැන වූ අතර එය උපත්වල අඛණ්ඩ වැඩිවීමකට හේතු නොවූ විට, 2021 දී යුවළකට දරුවන් තිදෙනෙකු දක්වා ඉඩ දෙන බවටයි බලධාරීන් නිවේදනය කළේ.

මේ ආකාරයෙන් වසර 30 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශකය තුළ එරට පහත වැටුනු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා එරට රජය ළමා උපත් දිරිමත් කිරීමට මූල්‍ය ආධාර සැපයීමේ ක්‍රමවේදයක් පවා හඳුන්වාදී ඇති පසුබිමක මෙවන් තත්ත්වයක් පැවතීම විශේෂත්වයක්.

මිට අමතරව වයස්ගත ජනගහනයක් සහ මන්දගාමී ආර්ථිකයකට මුහුණ දී සිටින බීජිනය, තරුණයින් වැඩි පිරිසක් විවාහ වී දරුවන් ලැබීමට දිරිමත් කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටිනවා.

මෑතකදී, චීනය දෙමාපියන්ට වයස අවුරුදු තුනට අඩු තම දරුවන් සඳහා යුවාන් 3,600 බැගින් ලබා දී ඇති අතර ඇතැම් පළාත්වල අමතර ගෙවීම් සහ දීර්ඝ මාතෘ නිවාඩු ඇතුළුව ළදරු ප්‍රසාද දීමනා ද ලබා දෙන බවයි මාධ්‍ය වාර්තා දක්වන්නේ.

කෙසේ නමුත් බීජිං හි යූවා ජනගහන පර්යේෂණ ආයතනයේ 2024 වාර්තාවකට අනුව, චීනය දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා වඩාත්ම මිල අධික රටවලින් එකක් වනවා.

Shares: