මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතාකර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනා ගැනීමටත් ඉන් අනතුරුව සිදුකරනු ලබන නෛතික ක්‍රියාමාර්ග පහසු කරලීම සඳහාත් ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ (Mobile Lab) සේවාව අද සිට (21)ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම ජංගම රසායනාගාර සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම අද දින කොළඹ බැස්ටියන් මාවත ප්‍රධන බස් නැවතුම්පොල අංගනයේදීයි සිදු කෙරුණේ.
මෙම ජංගම රසායනාගාර සේවාව මගින් දැනට මත්ද්‍රව්‍ය වර්ග 4 ක් සම්බන්ධ වාර්තා විනාඩි 2-3 ක කාලයක් ඇතුළත ලබාගත හැකිවීම විශේෂත්වයක්.
එමෙන්ම ඉදිරියේ දී මත්ද්‍රව්‍ය 12 ක් දක්වා හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා ගැනීමට ද නියමිතයි.
නිසි ලෙස ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මගින් රියදුරන්, මගී ජීවිත, පදිකයින් සහ දේපළ ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් සකස් කළ යුතු තිරසර වැඩ පිළිවෙලක අවශ්‍යතාව විවිධ ආයතන මගින් විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබුණා.
වත්මන් රජය ආරම්භ කළ මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ එක් ප්රමුඛ ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ (Mobile Lab) සේවාව ආරම්භ වුණේ.
ඇල්කොහොල් (Alcohol) මත්ද්‍රව්‍ය හැර වෙනත් මත්ද්‍රව්‍ය භාවිතකර රිය ධාවනයේ යෙදෙන්නන්ට දඬුවම් ලබාදීමේ අවස්ථාවක් මින් පෙර නොතිබූ අතර ඊට අදාළ නෛතික ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීම මත මෝටර් රථ වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට අදාළ ‘මෝටර් රථ වාහන නියෝග මාාලව’ පසුගියදා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ජාතික ගමනා ගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධවයි මෙම පරීක්ෂණ සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ.
මෙහිදී රියදුරන්ගේ ‘මුත්‍රා’ සාම්පල පරීක්ෂණයේ ප්‍රතිඵල, ප්‍රතිඵල සටහනක් ද සහිතව එම අවස්ථාවේදීම ලබාදීම සිදු කෙරෙනවා.
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම සේවාව ඉදිරියේදී සැලසුම් කර තිබෙන්නේ දිවයිනේ සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමටයි.
වසරකට ශ්‍රී ලංකාව පුරා මිනිස් ජීවිත 2,500 කට අධික සංඛ්‍යාවක් විනාශ කරනු ලබන, සුවිශාල දේපළ හානියක් කරනු ලබන රථවාහන අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති මත් උවදුර මුලිනුපුටා දැමීමට අවශ්‍ය ප්‍රායෝගික සහ නෛතික ක්‍රියාවලිය මෙමඟින් බලාත්මක වනවා.
ප්‍රවාහන ක්ෂේත්රයේ සිදුකරනු ලබන මෙවැනි ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ මගින් කාර්යක්ෂම, විධිමත් ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කර ආරක්ෂිත රිය ධාවනයක් තුළින් මගී ජනතාවට සුරක්ෂිත ගමනාන්තයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යු.සි.පි පෙරේරා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා, එහි අධ්යක්ෂ තත්ව ආරක්ෂණ බී.එම්.ඉෆ්තිකාර්, පොලිස් රඳවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඩී.පී.ජේ සේනාධිර යන මහත්වරුන් සහ රියදුරු, කොන්දොස්තර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.











