දේශීය

අකුරේගොඩ ද්විත්ව ඝාතනය දෙවැනි වෙඩික්කරුගෙන් ඝාතන 48ක් ගැන පාපොච්චාරණයක්

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු පොලිසිය හමුවේ සිදු කළ පාපොච්චාරණයක් රටම කම්පාවට පත් කර ඇත.

පොලිස් ප්‍රකාශයන් අනුව, සැකකරු දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ වෙඩි තැබීම් 20කට වැඩි ගණනක ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව පවසා තිබේ. එම සිදුවීම්වලින් පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය වී ඇති බවද ඔහු පාපොච්චාරණය කර ඇතැයි සඳහන් වේ.

මෙම ඝාතන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත සිදු කළ බවටද අනාවරණය වී ඇත.

අදාළ ද්විත්ව ඝාතනය සිදුවූ දිනයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ බවට සැකකරු පිළිගෙන ඇති අතර, “මම දෙන්නටම එක ගානේ තිබ්බා. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා” යනුවෙන්ද ඔහු සඳහන් කර තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව කොට්ටාව මංසන්ධියේදී මෝටර් රථයෙන් බැස බස් රථයකින් මාලබේ දෙසට ගමන් කර ඇති සැකකරුට එහිදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇති බව අනාවරණය වී ඇත. ඉන් අනතුරුව අධිවේගී මාර්ගය ඔස්සේ මත්තලට පැමිණ මොණරාගලට ගොස් සැඟවී සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව පොලිසිය සඳහන් කරයි

Shares: