2026 වසර සඳහා ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාවයෙන් සකස් කරන ලද අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (17) උදෑසන මහා සංඝරත්නය වෙත විධිමත්ව පිළිගන්වනු ලැබිය.
මෙම අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජනීය දිඹුල්කුඹුරේ විමලධම්ම මාහිමිපාණන් වහන්සේටද, අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජනීය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජනීය නාරම්පනාවේ ආනන්ද මාහිමිපාණන් වහන්සේටද එම නැකැත් සීට්ටුව පිළිගැන්වීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
දිගුකාලයක් පුරා විවාදාපන්නව පැවති නැකැත් සීට්ටුව සම්බන්ධ ගැටළුව සාර්ථකව විසඳා මහජනතාව අවිනිශ්චිතතාවයෙන් මුදා ගැනීමට රජය ගත් පියවර පිළිබඳව මහා සංඝරත්නය විසින් ප්‍රසාදය පළ කළහ.
මෙම නැකැත් සීට්ටුව මගින් 2026 අලුත් අවුරුදු උත්සව කාලසටහන පිළිබඳ ජනතාවට පැහැදිලි මාර්ගෝපදේශයක් ලබාදෙන අතර, සම්ප්‍රදායික චාරිත්‍ර හා සංස්කෘතික වටිනාකම් තවදුරටත් සුරැකීමටද එය උපකාරී වනු ඇත.











