විදෙස්

අනුරාධපුර – මිහින්තලේ ප්‍රදේශවල මහා පරිමාණ මාර්ගගත වංචාවක් හෙළිවෙයි: විදේශිකයින් 134ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී, විදේශීය ජාතිකයන් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් අය අතරට චීන ජාතිකයන් 126 දෙනෙකු, මියන්මාර ජාතිකයන් 4 දෙනෙකු සහ තායිවාන ජාතිකයන් 4 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මහා පරිමාණ සංවිධානාත්මක මාර්ගගත වංචා ජාලයකට සම්බන්ධ බවට සැක කරනවා.

හමුදා බුද්ධි අංශයට ලැබුණු විශ්වාසනීය තොරතුරක් මත මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇති අතර, නවාතැන් පහසුකම් සපයන ස්ථාන පහක් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් සිදු කර තිබෙනවා.

වැටලීම් අතරතුර, ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ අනෙකුත් තාක්ෂණික උපකරණ විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම උපකරණ මාර්ගගත වංචා මෙහෙයුම් සඳහා භාවිතා කර ඇති බවට සැක කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රාජසන්තක කළ භාණ්ඩ සම්බන්ධයෙන්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

 

Shares: