උතුරු ජපානයේ අද (සිකුරාදා) රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50 ක පමණ ගැඹුරින් පිහිටා තිබූ බවයි.
භූ කම්පනයත් සමඟ ප්‍රදේශ කිහිපයක ජනතාව අතර තාවකාලික භීතියක් ඇතිව තිබුණද, මේ වනවිට කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් පිළිබඳ වාර්තා වී නැහැ.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බැවින් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.
කෙසේ වෙතත්, අතුරු කම්පන ඇතිවීමේ හැකියාව පවතින බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබෙනවා.
ලෝකයේ භූ කම්පන ක්‍රියාකාරී කලාප අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා ජපානය, “Pacific Ring of Fire” ලෙස හැඳින්වෙන භූ විද්‍යාත්මක කලාපය තුළ පිහිටා තිබෙනවා.
ඒ හේතුවෙන් ජපානය නිරන්තරයෙන් ප්‍රබල භූමිකම්පා සහ සුනාමි අවදානම්වලට මුහුණ දෙන රටක් ලෙස සැලකෙනවා.
ජපානයේ දැඩි ආපදා කළමනාකරණ පද්ධති සහ ජනතාවගේ පෙර සූදානම හේතුවෙන් මෙවැනි ස්වාභාවික ආපදා අවස්ථාවල හානි අවම කර ගැනීමට හැකිව තිබෙනවා.











