ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායකවරයාගේ මතය අද (19) ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.
එහිදී කථානායකවරයා විසින් විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය මතය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වනවා.
මේ වන විට විවිධ පාර්ශ්ව කරුණු දක්වමින් කියා සිටින්නේ අදාළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූලව ඉදිරිපත් කර නොමැති බවටයි.
ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නොහැකි බවට කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාට හිතුවක්කාරි ලෙස කටයුතු කිරීමට නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරමින් කථානායකවරයා කටයුතු නොකරන්නේනම් ඔහුට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ දී සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ දී සමෘද්ධි සංශෝධන පනත් කෙටුම්පත, රබර් පාලන සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
බ්‍රහස්පතින්දා දිනයේ රේගු ආඥා පනත යටතේ ගැසට් මඟින් ප්‍රකාාශයට පත්කර ඇති යෝජනා පිළිබඳ විවාදය සහ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියමයන් විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.
විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ සිකුරාදා දිනයේ දීයි.










