සංවිධානාත්මක අපරාධ කල්හි නායකයකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ”හරක් කටා” යන සැකකරුව මාධ්‍යවේදියෙකු ලෙස පැමිණ ඝාතනය කිරීමට සැලසුමේ කැමරාව තුළ 3.8 වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
මෙම අපරාධය සිදුකිරීම සඳහා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටීමට නියමිතව සිටි පහත් බිම් හා ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ රියදුරෙකු පෙරේදායි (1) අත්අඩංගුවට ගනු ලැබුවේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී මෙහෙයුම් හා පාලන පී. කුමාරදාස මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක අංජන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවකු වන නැදුම් ගොඩගේ නිර්මල ප්‍රසන්ග නොහොත් බැකෝ සමන්ත යන සැකකරුගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදීයි මෙම සැලසුම පිළිබඳ හෙළිව ඇත්තේ.
එහිදී ඔහු පවසා ඇත්තේ අධිකරණ භූමිය ඉදිරිපිටදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මාධ්‍යවේදියෙකු ලෙස වෙස්ලාගෙන ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ බවයි.
එමෙන්ම එම කැමරාවට ගිනි අවිය බහා සකසා දුන්නේ ගම්පහ උඩුගම්පොල දොඹවල පුද්ගලයකු බවට ඔහු එහිදී අනාවරණය කළ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව 47 හැවිරිදි පෑස්සුම්කරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවා.











