දේශීය

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.

එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම සුදුසු බව හඳුනා ගනු ලැබුවා.

එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අතරමැදි ශ්‍රේණිවලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය සිසුන් සඳහා ප්‍රමුඛතාව ලැබෙන පරිදි පාසල් අයඳුම් කිරීමේ අවස්ථාව සලසා දීම පිණිස නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්, පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවලංගු වනවා.

ඒ සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.

Shares: