ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදුව නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වෙමින් ඇති බවයි.
අධිකරණ භූමිය තුළ නීතිඥවරයාගේ වාහනය සහ බන්ධනාගාර බස් රථයක් නතර කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුගිය 10 වනදායි මෙම සිදුවීම සිදුවූයේ.
ඊට අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාස නිකුත්කළ එම නිවේදනය,
2025.10.10 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට නීතිඥවරයෙකු විසින් යම් සිදුවීමක් මුල්කරගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ප්‍රකාශ සටහන් කර මෙම සිදුවීම සම්බන්ධව තවදුරටත් ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයට එම අවස්ථාවේ ඔහු විසින් “ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ…” “ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී …..” “ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න….” යනුවෙන් එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත.
එමඟින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතී. නමුත් මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුවී නොමැත.
මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත.
නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විටත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
එයට හේතුව වූයේ මෙම සිදුවීමත් සමඟ ගල්කිස්ස අධිකරණ භූමියේ යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් අධිකරණයේ කටයුතු වලටද බාධා සිදුවී ඇත. එමෙන්ම මෙම සිදුවීම පාදක කරගෙන අධිකරණයේ කටයුතුවල නිරත නීතිඥවරුන්ගේද යම් විරෝධයක් පවත්වා ඇත. එම අවස්ථාවේ දී ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරියා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හට නියෝග කර තිබීම හේතුවෙනි.
ඉහත සිදුවීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කල ආකාරය සම්බන්ධව පොලිස් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර, මෙම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවීමට නියමිතයි.
එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් අද දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බවයි පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවද ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පොලීසිය පිළිබඳව මාධ්‍ය තුළ ප්‍රචාරය වන කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි එම කොමිසම කියා සිටියේ.











