දේශීය

පැහැර ගත් රු. කෝටි 2ක් එක්ක 08ක් අත්අඩංගුවට

පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි 2කට අධික මුදලක් එහි සේවකයකු විසින් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බවට හැඟීයන පරිදි සැලසුම් කර, එම මුදල් පැහැරගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය විසින් සිදුකළ වැටලීමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පෑලියගොඩ පොලිස් වසමේ නාරංමිණිය ප්‍රදේශයේ දී කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ රුපියල් ලක්ෂ 30ක මුදලක් තිබී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකය මතයි වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා සහ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම මුදල පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම ආයතනට අයත් මුදල් බැංකුගත කිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදුවූ බවට හැඟීයන පරිදි සැලසුම් කර සැකකරුට ලබාදී ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී මෙම අපරාධයට අදාළව තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් සමග සැකකාරියක් සහ රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් (22,245,000) සමග තවත් සැකකරුවන් පස් දෙනෙකු, අපරාධයට යොදාගත් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් වයස අවුරුදු 25ත් 45ත් අතර හා සැකකාරිය වයස අවුරුදු 60ක් වන කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන්.

කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: