බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“මොන්තා” සුළිකුණාටුව ලෙස නම් කර ඇති මෙම පීඩන අවපාතය දැනට සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති බවත්, එය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි එහි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 90-110ක තද සුළං ඇතිවිය හැකි බවත් ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
එමෙන්ම ඔවුන් අනතුරු අඟවා ඇත්තේ මෙම සුළිකුණාටුව හෙට (28) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුල් වෙනු ඇති බවත්, ඒ හේතුවෙන් ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවල සමහර ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි බවටයි.
තවද අධික වැසි අනතුරු ඇඟවීම් හේතුවෙන් ආන්ද්‍රා ප්‍රාන්තයේ පාසල් නිවාඩුවක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර විශාකාපට්නම්, අනකපල්ලේ සහ බටහිර ගෝදාවරි දිස්ත්‍රික්කවල පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්ද ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.










