දේශීය

ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72ක් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

එම ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්.

මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ ගණේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය පෙබරවාරි 19වනදායි.

සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනිඅවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවා.

එහිදී ඇය පසුගිය 14වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේ රැඳී සිටියදීයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිට පලා යාම සඳහා ආධාර අනුබල දුන් කිහිපදෙනෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙනයි ඇත්තේ.

Shares: