දේශීය

සේවය හැරගිය වෛද්‍යවරුගෙන් මිලියන 1277ක් රජයට අයවිය යුතුයි – විගණන වාර්තා

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 දිනට රජයට අය විය යුතු බැදුම්කර, දඩ මුදල්, ණය අත්තිකාරම් ශේෂයන්ගේ එකතුව රුපියල් මිලියන 1,277ක් බවයි එම කාර්යාලය පෙන්වා දෙන්නේ.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ජාතික විගණන කාර්යාලය විසින් සේවය අත්හැර ගිය වෛද්‍ය නිලධාරින්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව මගිනුයි.

වර්තමානයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළව පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම අනෙකුත් හේතූන් මත විදේශ ගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම හා සේවය අත්හැර යාම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

එමෙන්ම එම නිලධාරින් ඇප මුදල් හා දඩ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවක් මෙන්ම ඒවා අයකර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවල දුර්වලතා රැසක් ද පවතින බවයි විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙන්නේ.

එසේම 2015 වර්ෂයේ සිට 2024 අවසානය දක්වා වෛද්‍යවරුන් 705 දෙනෙකු ගිවිසුම් කඩකර ඇති බව ද විගණනයේ දී අනාවරණය වී ඇති බව සඳහන්.

Shares: