ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (22) ක්‍රියාත්මක වූ පාකිස්ථාන – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගයත් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
ඒ පාකිස්‍ථාන කණ්ඩායමට කඩුළු 07ක ජයක් අත්කර දෙමින්.
ලකුණු 129ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානුවන් පන්දුවාර 15.3ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 131ක් රැස් කර ගැනීමට සමත් වුණා.
එහිදී පන්දුවට පහරදුන්, පාකිස්ථානයේ සහිබ්සාඩා ෆර්හාන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 80ක් රැස් කළා.
සයිම් අයුබ් ලකුණු 20ක්ද, බාබර් අසාම් ලකුණු 16ක්ද ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්, දුෂ්මන්ත චමීර කඩුළු 02ක්ද, දසුන් ශානක එක් කඩුල්ලක්ද දවා ගත්තා.
අද තරගයේ කාසියේ වාසියෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 128ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.
ඒ අනුව, පැතුම් නිස්සංක ලකුණු 17ක්ද, කමිල් මිෂාර ලකුණු 22ක්ද, කුසල් පෙරේරා ලකුණු 25ක්ද, වනිඳු හසරංග ලකුණු 11ක්ද, ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41*ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් බවට පත් වූ අතර, අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ.
කණ්ඩායම් නායක දසුන් ශානක කිසිඳු ලකුණක් නොලබා නවාස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් නවාස් කඩුළු 03ක්ද, සල්මන් මිර්සා, ෆහීම් අෂ්රෆ් සහ අබ්රාර් අහමඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.











