වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී තැපැල් දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් ඊයේ (25) දිනයේ රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමට මගීන්ට අවස්ථාව නොලැබීමෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටි බවයි එහි ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ,
“ඊයේ දින රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ සිට ත්‍රිකුණාමලය, කොළඹ සිට මඩකලපුව සහ මොරටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියවල කලින් ආසන වෙන්කිරීම පද්ධතියට මුදාහැරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ නෑ. පෙර දැනුවත් කිරීමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළේ නෑ. ඒ නිසා මහජනතාවගේ දෝෂදර්ශනයට ලක්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුවුණා. ඒ ගැන සොයා බැලීමේ දී අපට දැනගන්න ලැබුණේ දුම්රිය රියදුරු සංගමයේ ඉල්ලීම මත රාත්‍රියේ ධාවනය වන තැපැල් දුම්රියවල දුම්රිය කාලසටහන සංශෝධනයට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා කියලා. ඉදිරියේ දී මේ දුම්රිය ධාවනය වන්නේ දහවල් කාලයේ දී. මේ හරහා මහජනතාවට සේවාවක් සැපයෙනවා ද කියලා ගැටලුවක්. ත්‍රිකුණාමලය, මඩකලපුව හා යාපනය යන ප්‍රදේශවල ඉඳලා ජනතාව රාත්‍රියට පැමිණෙන්නේ පහුවදා ඔවුන්ට අවශ්‍ය සේවාවන් සිදුකරගන්න. නමුත් දහවල් කාලයේ දී දුම්රිය සේවාව සැපයීම තුළින් ජනතාව බලාපොරොත්තු වන සේවය සපයා ගැනීමට හැකිවේද යන ගැටලුව තියෙනවා.”
යනුවෙනුයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දුව මහතා,
“දුම්රියක අලියෙකු ගැටෙන එක නවත්වන්න දුම්රිය රියදුරෙකුට හැකියාවක් නෑ. මොකද ක්ෂණිකව ඒ දේ කරන්න බෑ. මේ ගැන රජයට හා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කළා මේකට විසඳුමක් දෙන්න කියලා. අපිට යම් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වුණා. රාත්‍රි කාලයේ අලි ගැටීමේ සම්භාවිතාව වැඩියි. අලියා පාරට එන එක වළක්වන පියවරක් ගන්නවානම් වටිනවා.”
යනුවෙනුයි කියා සිටියේ.











