දේශීය

අයවැය තෙවන වර ඡන්ද විමසීම අදයි

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වූ අතර, විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතයි.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනුයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ඉකුත් නොවැම්බර් 14 වනදා 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි ගණන 8ක්.

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වූවා.

තුන්වන වර කියවීමේ විවාදය සඳහා දින 17ක කාලයක් වෙන්කර තිබුණද, සභාව රැස්වීම අවස්ථා කිහිපයකදී කල්තැබුණේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

මේ අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

Shares: