ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා රජය ලබාදිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන ලබා දෙමින් ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පැවති ආපදා තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයට සිදු වූ හානියෙන් අවතැන් ජනතාව වෙත සහන ලබාදීමේ සහ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහනුවර උඩපළාත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (07) පැවති ආපදා කළමනාකරණ කමිටු සාකච්ඡාවේදීයි ඇය මේ බව කියා සිටියේ.
ගෙලිඔය, උඩපලාත, දොළුව ප්‍රදේශවල ආපදාවෙන් සිදු වූ හානිය සහ සහන සැපයීම් කටයුතුද අග්‍රාමාත්‍යවරිය නිරීක්ෂණය කළා.
උඩපළාත සහ දොළුව ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලිය බිඳවැටීම් බොහෝ දුරට යථාතත්වයට පත්කර ඇති බවත්, ප්‍රධාන මාර්ග මේ වනවිට විවෘතව පවතින බවත්, අනෙකුත් ග්‍රාමීය මාර්ග පිරිසිදු කරමින් පවතින බවයි මෙහිදී නිලධාරීන් පැවසුවේ.
එමෙන්ම ප්‍රදේශයට අවශ්‍ය පානීය ජල සැපයුම් ලබා දෙමින් පවතින අතර එම නිලධාරීන් ප්‍රකාශ කළේ සන්නිවේදන බිඳවැටීම් යථාතත්ත්වයට පත් වූ පසු බැංකු කටයුතු නිසි පරිදි සකස් කරන බවයි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ,
“ආපදාවට ලක් වූ රටේ ජන ජීවිත වගේම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන්නේ අප සියලු දෙනා නම්‍යශීලී භාවයෙන් යුක්තව හා කැපවීමෙන් සිදු කරනු ලබන කාර්යභාරය මත පමණයි, විශේෂයෙන් සුරක්ෂා කඳවුරුවල සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මේ වගේ බිහිසුණු ව්‍යසනයක් යටතේ ජනතාවගේ ජීවිත රැක ගන්න අපිට හැකි වුණේ මෙවැනි අපදා තත්ත්වයන් පිළිබඳ අත්දැකීම් තිබුණත් නැතත් ඔබ කළ කැප කිරීම නිසයි. මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී රාජකාරී ඉක්මවා යමින් සිදු කළ කැපකිරීම වෙනුවෙන් සියලු දෙනාට සිය ස්තූතිය පුද කරනවා.”
යනුවෙන්.











