උණුසුම් පුවත්

ජයිශංකර් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම පිළිබඳවයි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේ.

ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම මෙහිදී අවධානය යොමු වූයේ ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී සහන මෙහෙයුම්වලට අමතරව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි දිගුකාලීන පියවර ඇතුළත් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ඉන්දීය රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීමට ලක් කළා.

ඇය ප්‍රකාශ කළේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ අදියරක් ලෙස සමීප අධීක්ෂණයක් ඇතිව පාසල් නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව ලබා දුන් ස්වේච්ඡා සහභාගිත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ස්ථාවරත්වය සහතික කිරීම, අවදානම අඩු කිරීම සහ ආරක්ෂක යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවයි අගමැතිනිය මෙහිදී අවධාරණය කළේ.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (IOR) Puneet Agrawal මහතා, ඒකාබද්ධ ලේකම් (EAMO) Sandeep Kumar Bayyapu මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා සහ ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) සමන්ත පතිරණ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූවා.

Shares: