උණුසුම් පුවත්

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ

‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලය 2026 වසරේ ජනවාරි 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර කරන්නේ.

ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප 2026.01.31 දින දක්වා වැඩ කරන දිනයන්හි අදාළ තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට අවස්ථාව හිමිවනු ඇති.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178, 753 වන අතර, ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රමාණය 6,312 ක්.

මෙම ප්‍රතිලාභීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට මාසයකට රුපියල් මිලියන 413ක මුදලක් රජය විසින් වැය කරනු ලබනවා.

පසුගිය දා ඇති වූ සුළි කුණාටු තත්ත්වය මත ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් හට සිදු වූ ආපදාවන් හේතුවෙන් තැපැල් කාර්යාලවලට ළඟාවීමේ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් 31 දින දක්වායි මීට පෙර දීර්ඝ කර තිබුණේ.

Shares: