රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය හෙට (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එම උත්සවය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මකයි.
දේශීය, විදේශීය , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක Rebuilding Sri Lanka’ වැඩසටහනට අදාළව අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කර තිබෙනවා.
එමෙන්ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා උප කමිටු පිහිටුවීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.











