විදෙස්

“දැන්ම ඉරානයෙන් යන්න” – අමෙරිකානුවන්ට දන්වයි

 

ඉරානයේ සිටින අමෙරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ පිහිටි අතථ්‍ය (virtual) අමෙරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

ඉරානය පුරා පවතින විරෝධතා උද්ඝෝෂණ සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි අතර, ඒවා ප්‍රචණ්ඩකාරී වීමෙන් පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමට සහ තුවාල ලැබීමට ඉඩ ඇති බව එම කාර්යාලය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඇමරිකානු වැසියන් වහාම ඉරානයෙන් ඉවත් විය යුතු අතර, ආරක්ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට සලකා බැලිය යුතු බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

දැනටමත් දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වන අතර, මාර්ග වසා දැමීම්, පොදු ප්‍රවාහන බාධා කිරීම් සහ අන්තර්ජාල විසන්ධි කිරීම් සිදුවෙමින් පවතිනවා.

මේ වන විටත් ඉරාන රජය ජංගම, ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධතිවලට ප්‍රවේශ වීම සීමා කර ඇති අතර, ගුවන් සමාගම් විසින් ඉරානය වෙත සහ ඉරානයෙන් පිටතට යන ගුවන් ගමන් සීමා කර හෝ නතර කර තිබෙන බව සඳහන්.

ඉවත් වීමේදී අමෙරිකානු රජයේ සහාය මත පදනම් නොවන සැලසුමක් සකස් කර ගන්නා ලෙසත්, ඉවත් වීමට නොහැකි පිරිස් ආහාර, ජලය සහ ඖෂධ රැස් කරගෙන ආරක්ෂිත ගොඩනැගිල්ලක රැඳී සිටිය යුතු බවත් දැනුම් දෙනවා.

විරෝධතාවලින් ඈත්ව සිටින ලෙසත්, අවට සිදුවන දේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ප්‍රාදේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසත් වැසියන්ට උපදෙස් දී තිබෙනවා.

තවද, තම දුරකථන ආරෝපණය (චාජ්) කර තබා ගන්නා ලෙසත්, පවුලේ අයට සහ මිතුරන්ට තොරතුරු දැනුම් දෙන ලෙසත්, ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට ‘Smart Traveler Enrollment Program (STEP)’ හි ලියාපදිංචි වන ලෙසත්
අමෙරිකානුවන්ට පවසා තිබෙනවා.

අමෙරිකානු-ඉරාන ද්විත්ව පුරවැසියන් ඉරානයෙන් පිටවිය යුත්තේ ඉරාන විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින්.

මන්ද ඉරානය ද්විත්ව පුරවැසිභාවය පිළි නොගන්නා අතර එවැනි අයව සලකනු ලබන්නේ ඉරාන පුරවැසියන් ලෙස පමණයි.

අමෙරිකාව සමඟ සම්බන්ධකම් පෙන්වීම ඉරාන බලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් විය හැකි බවයි එම ආරක්ෂක අනතුරු ඇඟවීම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය භාවිතා කර තුර්කියට ඇතුළු වීමට බලාපොරොත්තු වන අය ඇන්කාරා හි ඇමරිකානු තානාපති කාර්යාලයේ පුරවැසි සේවා ඒකකයට ([email protected]) තම නම, උපන් දිනය, විදේශ ගමන් බලපත්‍ර තොරතුරු සහ එහි ඡායාරූපයක් එවිය යුතු බව ද එහි දැක්වෙනවා.

එමෙන්ම ආර්මේනියාවේ Agarak/Norduz දේශ සීමාව ද විවෘතව පවතින අතර, අමෙරිකානුවන්ට දින 180ක් දක්වා වීසා නොමැතිව එහි රැඳී සිටිය හැකියි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර 2025 ජුනි මාසයේ පැවති ගැටුම් වැනි නොසන්සුන් අවස්ථාවලදී අසර්බයිජානයට ඇතුළු වීම සීමා විය හැකි බැවින් විකල්ප මාර්ග සලකා බලන ලෙස උපදෙස් දී තිබෙනවා.

මීට අමතරව ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ පකිස්ථාන-ඉරාන දේශසීමා ප්‍රදේශවල සංචාරය නොකළ යුතු බවත් දැනට අමෙරිකාව සහ ඉරානය අතර සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති බැවින්, ටෙහෙරානයේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා ඇමරිකානු අවශ්‍යතා සම්බන්ධ කටයුතු සිදු කරනු ලබන බවත් අමෙරිකානු රජය ඉරානයේ සිටින තම වැසියන්ට දැනුම් දෙනවා.

 

Shares: