පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඒ මහතා සඳහන් කළේ එම අරමුදල සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බවයි.
එමෙන්ම විදෙස් රටවලින් ලැබුණු මුදල් ප්‍රමාණයද මේ වන විට ඉහළ ගොස් ඇති බවයි සූරියප්පෙරුම මහතා පැවසුවේ.
එසේ ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාවද ඉක්මවා ගොස් ඇති බව එතුමා කියා සිටියා.
මෙම මුදල් ආධාර ලැබුණු රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එම ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා ගොස් ඇති බවයි ප්‍රකාශ කළේ.
මීට අමතරව ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, භූතානය, ඉතාලිය සහ කොරියාව යන රටවල්ද පිළිවෙළින් මුදල් ආධාර ලැබුණු ඉහළම රටවල් 10 අතරට අයත්.
තවද මෙම රටවල්වලට අමතරව විදෙස් රටවල් රැසක් ශ්‍රී ලංකාවට අධාර ලබා දුන් බවත්, ඒ අනුව සමස්තව විදෙස් රටවල් 47කින් ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම සඳහා ආධාර ලබා දුන් බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ.
මේ අතර මුදලින් ලැබෙන ආධාරයන්ට අමතරව ශ්‍රී ලංකා රේගුව වෙත විශාල භාණ්ඩ ප්‍රමාණයක් ලැබී ඇතැයිද පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ දක්වා රේගුව වෙත ලැබී ඇති භාණ්ඩවල සමස්ත වටිනාකමද රුපියල් බිලියන 2.3 සීමාවද ඉක්මවා ගොස් ඇති බවයි.











